Monday, May 18, 2020

1 පාඩම - තොරතුරු සන්නිවේදන තාක්ෂණය (ICT – Information & Communication Technology) යනු


තොරතුරු සන්නිවේදන තාක්ෂණය සෑදී ඇත්තේ තොරතුරු, සන්නිවේදනය සහ තාක්ෂණය යන ක්ෂේත්‍රයන්ගේ එකතුවෙනි.
තොරතුරු(Information) යනු දත්ත අර්ථවත් ආකාරයට සැකසීමයි.සන්නිවේදනය (Communication) යනු දෙදෙනෙක් හෝ දෙපිරිසක් අතර සිදුවන තොරතුරු හෝ පණිවිඩ හුවමාරුවයි. දුරකථන සංවාදය මේ සඳහා උදාහරණයක් වේ.තාක්ෂණය (Technology) යනු විද්‍යාවේ දියුණුව තුළින් බිහිවී ඇති සියළුම දේය.
එදිනෙදා ජීවිතයේ බොහෝ ක්‍රියාදාමයන් සඳහා තොරතුරු තාක්ෂණය සහ සන්නිවේදන තාක්ෂණයන්හි සංයුග්මනය (එකතු වීම) බොහෝ සෙයින් වැදගත් වේ. උදාහරණ ලෙස උදෑසන ප්‍රවෘත්ති විකාශණය, ඈත රටක සිටින මිතුරෙකුට විද්‍යුත් තැපැල් පණිවුඩයක් යැවීම, අන්තර්ජාලය භාවිතයෙන් ශ්‍රව්‍ය / දෘශ්‍ය මාධ්‍ය දුරකථන ඇමතුම් නොමිලයේම ලබාගැනීම සඳහා ද ෆැක්ස් යන්ත්‍රයක් මගින් දෘඩ පිටපතක් අවශ්‍ය ස්ථානයකට සන්නිවේදනය කිරීම මේ අතර වැදගත් සිදුවීම් වේ.
තොරතුරුවල මූලික තැනුම් ඒකකය දත්තයි. දත්ත යනු මොනවාද?
  • අවිධිමත් අර්ථ රහිත සහ අසංවිධිත අංග සමූහයක් දත්ත ලෙස හඳුන්වයි.
  • දත්ත සෑම විටම සැකසීමකට භාජනය නොවූ ඒවාය. එමෙන්ම අර්ථාන්විත බවින්ද අඩුය.
  • දත්ත විවිධාකාරයෙන් පැවතිය හැක. ඇතැම් දත්ත ප්‍රයෝජනවත් වුවත් ඇතැම් දත්ත ප්‍රයෝජනවත් නොවේ.
  • තොරතුරු සකස් කර ගන්නට යොදා ගන්නා අමුද්‍රව්‍ය වෙන්නේද දත්තයි.
  • දත්ත අකුරින් ලියා තැබිය හැක. එමෙන්ම රූපමය ආකාරයෙන්, වීඩියෝ පට හෝ චලන රූප ආකාරයෙන් මෙන්ම ශ්‍රව්‍ය ආකාරයෙන් ද තිබිය හැක.
මෙම දත්තවල ස්වාභාවය (nature of data) මෙසේය.
  • දත්ත එක්රැස් කරගෙන ගබඩා (storage) කළ හැක. දත්ත ගබඩා කර ඇති මාධ්‍යයකින් (storage medium) නැවත ලබාගත හැක.
  • දත්ත සන්නිවේදනය (communicate) කළ හැක.
  • දත්ත සැකසීමට (process) පුළුවන.

පන්තියක සිටින ළමයිගේ විස්තර සටහන් දත්ත සඳහා උදාහරණයකි. මෙහිදී ළමයිගේ විස්තර සටහන් කර තබා ගන්නේ නම, වයස, උපන් දිනය යනාදී වශයෙනි. එහිදී එම නම හෝ වයස හෝ වැනි විස්තරයක් වෙනමම ගත් විට එයින් ඇති ප්‍රයෝජනයක් නැත.
දත්තවල රූපමය ආකාරයට උදාහරණ ලෙස යම් සතෙකුගේ හෝ තැනක හෝ රූපයක් දැක්විය හැක. එවැනි එක් රූපයක් බලා කෙනෙකුට සත්තු යනු කවරහු ද යන්න ගැන හෝ ස්ථානයක් යනු කුමක්ද යන්න ගැන හෝ අවබෝධයක් ලබා ගැනීමට නොහැක.
එමෙන්ම චිත්‍රපටයක සංස්කරණය නොකළ පටයක්ද අයත් වෙන්නේ දත්ත වලටය. ශ්‍රව්‍ය ආකාරයේ දත්තවලට මාධ්‍යවේදියෙකු පටිගත කරගන්නා හඬ පටයක්, ගීත සැකසීමට යොදා ගන්නා විවිධ හඬපට ආදිය දැක්විය හැක

No comments:

Post a Comment

Thank You..